අපි නොදන්න කැරට් කේක්

අද අපි කතා කරමු කැරට් කේක් ගැන.

ඇත්තටම මේ කේක් වර්ගයේ ඉතිහාසය දිහා බැලුවොත් යුරෝපීයයන් තමයි මුලින්ම කැරට් කේක් හදන්න පටන් අරන් තියෙන්නේ. ඒ දවස් වල සීනි වලට ඉතා ඉහළ මිලක් ගෙවන්න උන නිසා සීනි වෙනුවට කැරට් භාවිතා කළා කියලා තමා ඉතිහාසයේ සඳහන් වෙන්නෙ.

කොහොම හරි අද වෙනකොට අවුරුද්ද පුරාම එන උත්සව කාල වලට සෑදිය හැකි රසවත් කේක් වර්ගයක් බවට මේ කැරට් කේක් පත් වෙලා. විශේෂයෙන්ම පාස්කු සැමරීමේ උත්සව වල අනිවාර්යයෙන් මේ රසවත් කැරට් කේක් දකින්න පුලුවන්.

ලංකාවේ අපිට ටිකක් නුහුරු දෙයක් වුණාට කැරට් කේක් කියන්නේ විදෙස් රටවල, විශේෂයෙන් යුරෝපයේ ගොඩක් ජනප්‍රිය කේක් වර්ගයක්. සාමාන්‍යයෙන් එදිනෙදා පිළියෙල කරන බටර් කේක්, අයිසින් කේක් වගේ නෙවෙයි, කැරට් කේක් පිළියෙල කරන්නේ උත්සව අවස්ථාවලටයි. මේ කේක් වර්ගය හදාගන්න ක්‍රම රාශියක් තියෙනවා වගේම විවිධ වට්ටෝරු ගොඩකුත් තියෙනවා. කේක් එකකට කැරට් එකතු කලාම රස කොහොම වෙයිද? ඒක දැනගන්න නම් කැරට් කේක් කෑල්ලක් කාලාම බලන්න වෙනවා.

අපි දැන් බලමු කොහොමද මේ තරම් රසට කැරට් කේක් හදන්නෙ කියලා.

 

කැරට් කේක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය


    – 7 Star පාන් පිටි 420g
    – සීනි 480g
    – කුඩාවට කපාගත් වෝල්නට්ස් 250g
    – කුරුඳු කුඩු තේ හැඳි 2.5
    – ලුණු තේ හැදි 3/4
    – බේකින් පවුඩර් තේ හැදි 1.5
    – බේකින් සෝඩා තේ හැඳි 1.5
    – බිත්තර 6
    – එළවළු තෙල් 450ml
    – ග්රේට් කරගත් කැරට් 375g

 

ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් සඳහා


    – බටර් 170g
    – ක්‍රීම් චීස් 270g
    – අයිසිං සීනි 930g
    – සැරසීම සඳහා කුඩාවට කපාගත් වෝල්නට්ස්
    – කැරට් පෙති කීපයක්

 

සාදන ආකාරය

  1. මුලින් අවන් එක සෙන්ටිග්‍රේඩ් අංශක 175 කට රත්වෙන්න දාලා කේක් තැටි දෙකක අඩියේ බටර් ටිකක් ගාලා ඊට උඩින් කේක් තැටියේ ගානටම කපාගත්ත පාච්මන්ට් පේපර් තියලා තව බටර් ටිකක් උඩින් ගාලා ලෑස්ති කරගන්න.
  2. කේක් බැටර් එකට ඕනේ කරන පිටි මිශ්‍රණය සඳහා 7Star පාන් පිටි, කුරුඳු කුඩු, ලුණු, බේකින් සෝඩා, බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර වන ආකාරයට හලා ගත්තට පස්සේ ඒකටම කුඩාවට කපාගත් වෝල්නට්ස් ටිකත් එකතුකරල ඒ මිශ්‍රණය පැත්තකින් තියාගන්න.
  1. ඊළඟට අපි කේක් බැටර් එක හදාගමු. මික්සර් එකේ භාජනයට බිත්තරයි සීනියි එකතු කරලා මිනිත්තු පහක් පමණ වැඩි වේගයක් යටතේ මිශ්‍ර කලාට පස්සේ එළවලු තෙල්,ග්‍රේට් කරගත් කැරට්, මුලින් හදාගත්ත පිටි මිශ්‍රණයත් එයට එකතු කරලා ඉතාම අඩු වේගයකින් මිනිත්තු දෙකක් විතර මිශ්‍ර කරන්න.
  1. හදා ගත් කේක් බැටර් එක කලින් සූදානම් කර ගත් කේක් තැටි දෙකට සමානව වෙන්කරලා අවන් එකේ මිනිත්තු 25-28ත් අතර කාලයක් තුළ බේක් කරන්න.
  1. කේක් එක බේක් වෙන අතරේ අපි ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක හදාගමු. මික්සර් එකේ භාජනයට බටර් එකතු කරලා මිනිත්තු පහක් විතර හොඳට මිශ්‍ර කරන්න. මේ විදිහට හොඳට මිශ්‍ර කරනකොට තමයි බටර් ටික ඉතා මෘදුවට ඒ වගේම ලස්සන සුදු පාටකින් එන්නෙ. බටර් ටික හොඳට මිශ්‍ර උනාට පස්සෙ ක්‍රීම් චීස්, අයිසින් සීනි එකතු කර මිනිත්තු තුනක් පමණ නැවතත් මිශ්‍ර කරන්න. ෆ්‍රොස්ටින් එක දැන් හොඳ මෘදුවට ඇවිත් තියෙන්නෙ.
  1. අපේ කේක් එකත් දැන් හරි ගානට බේක් වෙලා. ෆ්‍රොස්ටින් කරන්න කලින් කේක් එක හොඳට නිවිලා තියෙන්න ඕනෙ. ඒ නිසා හොඳටම නිවුනට පස්සෙ කේක් එක කොටස් දෙක බැගින් කපාගෙන එක කේක් ලේයර් එකක් ප්ලැටර් එකේ තියලා කේක් එකේ මතුපිටට හදාගත් ෆ්‍රොස්ට් එක තවරන්න. මේ විදියට ඉතුරු ලේයර් තුනම එකින් එක තියලා ෆ්‍රොස්ට් එකෙන් තවරලා සම්පූර්ණ කේක් එකම ෆ්‍රොස්ට් එකෙන් ආවරණය කරන්න. ඊට පස්සේ මිනිත්තු තිහක් පමණ කේක් එක ශීතකරණයේ තියලා නැවත ෆ්‍රොස්ට් එකෙන් ආවරණය කරන්න.
  1. හදාගත්ත කැරට් කේක් එක වටේට කුඩාවට කපාගත් වෝල්නට්ස් එකතු කරලා, කපාගත් කැරට් පෙති කීපය කේක් එක උඩට එකතු කරලා සැරසුවාම කේක් එකට අමුතුම අලංකාරයක් එන්නෙ.

 

Leave a Reply

17 + 2 =